CategoriesCAP CEYLON

ජාත්‍යන්තර වෙළඳාමේදී වැදගත් වන පොදු ලියකියවිලි

ආනයන අපනයන වෙළදාම ශ්‍රී ලංකාවේ ආර්ථිකයේ එක් තීරණාත්මක අංශයකි. වර්තමානයේ මෙරට තුළ බිහි වන බොහෝ ව්‍යවසායකයන් සහ ව්‍යාපාරික ප්‍රජාව සිය නිෂ්පාදන විදෙස් වෙළඳපොළ දක්වා ව්‍යාප්ත කිරීමට විශේෂ අවධානයක් යොමු කිරීම යහපත් ප්‍රවණතාවයකි. එවැනි ප්‍රවණතාවක් තුළ ජාත්‍යන්තර වෙළඳාම් කටයුතු වලදී අවශ්‍යවන පොදු ලියකියවිලි පිළිබඳ දැනුවත් වීම වැදගත් වන්නේ ජාත්‍යන්තර වෙළඳාම් කටයුතු වලදී මෙම ලියකියවිලි අත්‍යවශ්‍ය අංගයක් වන නිසාවෙනි. ඒ පිළිබඳව ඔබ දැනුවත් කිරීම සඳහා අප ජාත්‍යන්තර වෙළඳාම සහ නාවුක භාණ්ඩ ප්‍රවාහනය පිළිබඳ විශේෂඥ රොහාන් ඩයස් මහතා සම්බන්ධකර ගතිමු.

සමස්තයක් වශයෙන් ආනයන අපනයන වෙළඳාම් කටයුතු සඳහා භාවිතා වන ලියකියවිලි සෑම රටකටම පොදු වුවත් කිසියම් විශේෂ වෙළඳ කටයුත්තකදී එම ලියකියවිලි රටවල් හා නිෂ්පාදන අනුව යම් යම් වෙනස්කම් වලට ලක්විය හැකිය. සාමාන්‍යයෙන් ජාත්‍යන්තර වෙළඳාමේදී භාවිතා වන පොදු ලියකියවිලි අංශ 5කට වර්ගීකරණය කළ හැකිය.

1. මූලික ලියකියවිලි
2. පරිවහන ලියකියවිලි
3. අනුකූලතා සහතික
4. ප්‍රභවස්ථාන සහතික
5. වෙනත් විශේෂිත සහතික

1.මූලික ලියකියවිලි (Common Documents)

මූලික ලියකියවිලි යටතේ වෙළඳ ඉන්වොයිසිය (Commercial Invoice), ඇසුරුම් ලේඛනය (Packing List) හා මිල කියුම (Pro forma Invoice) වැදගත් ලියකියවිලි වේ.
වෙළඳ ඉන්වොයිසිය විකිණුම්කරු විසින් නිශ්චිත ආකෘති පත්‍රයක් අනුව පිටපත් කිහිපයක් ඔස්සේ සකස් කරන අතර මෙය රේගු බදු අය කිරීම සඳහා භාණ්ඩවල සැබෑ වටිනාකම පෙන්නුම් කෙරෙන ලියවිල්ල ලෙස සළකනු ලබයි.

ඇසුරුම් ලේඛනය යනු ඉතා වැදගත් ලියවිල්ලක් වන අතර එහි විකුණුම්කරු, ගැනුම්කරු, අපනයනකරු, ඉන්වොයිස් අංකය, භාණ්ඩ නැව්ගත කිරීමට නියමිත දිනය, භාණ්ඩ ප්‍රවාහන ක්‍රමවේදය, ප්‍රමාණය, ඇසුරුම් කර ඇති ආකාරය, භාණ්ඩවල දළ හා ශුද්ධ බර ප්‍රමාණය, පරිමාව හා ඇසුරුම් සංඛේත ආදී වැදගත් කරුණු රාශියක් ඇතුළත්ව තිබේ. මෙය කිසිසේත්ම වෙළඳ ඉන්වොයිසිය සඳහා ආදේශකයක් ලෙස භාවිතා කළ නොහැකි අතර මෙය රේගු නිෂ්කාශන කටයුතු වලදී භාණ්ඩ නිරීක්ෂණය සඳහා යොදා ගැනෙන වැදගත් ලියවිල්ලකි.

මිල කියුම අපනයනකරු විසින් භාණ්ඩ නැව්ගත කිරීමට පෙර යවනු ලබන අතර එහි කුමන භාණ්ඩ, කුමන ප්‍රමාණයකින් හා කුමන මිලක් යටතේ නැව්ගත කෙරේද යන්න ගැනුම්කරු දැනුවත් කිරීම සඳහා යොදා ගැනේ.

2.පරිවහන ලියකියවිලි (Transportation Documents)

•Airway Bill (AWB) – භාණ්ඩ පරිවහන කටයුතු ප්‍රධාන වශයෙන් සිදුවන්නේ ගුවන් මගින් හෝ නැව් මගිනි. ගුවන් පරිවහනය නාවික පරිවහනයට සාපේක්ෂව වියදම් අධික ප්‍රවාහන මාධ්‍යකි. ගුවන් මගින් භාණ්ඩ පරිවහනයේදී යොදාගන්නා ලියවිල්ල Airway Bill (AWB) වශයෙන් හඳුන්වනු ලබයි. මෙහිදී අපනයනකරු අදාළ ගුවන් සේවා නියෝජිතයන් මගින් තමන් භාණ්ඩ යැවීමට බලාපොරොත්තුවන ගමනාන්ත ගුවන් තොටුපල සඳහා සේවාව ලබාගනියි. ගුවන් භාණ්ඩ පරිවහන නියෝජිත ආයතනය විසින් AWB නිකුත් කිරීම සඳහා අපනයනකරුගෙන් ඔහු යවන භාණ්ඩ සම්බන්ධයෙන් සවිස්තර වාර්තාවක් ලබාගනු ලබයි.

•නෞභාරපත (Bills of Lading) – ජාත්‍යන්තර වෙළඳාමේදී භාණ්ඩ පරිවහනය සඳහා බහුලවම භාවිතා වන්නේ නාවුක පරිවහන මාධ්‍යයි. පිරිවැය අඩුවීම මෙන්ම ප්‍රමාණයෙන් විශාල භාණ්ඩ හා තොග වශයෙන් භාණ්ඩ පරිවහනය කිරීමට සුදුසුම මාධ්‍ය වීම ඊට හේතු වී තිබේ. මෙහිදී අපනයනකරු විසින් ලබාදෙන තොරතුරු වලට අනුව නාවුක පරිවහන නියෝජිත ආයතනය විසින් නෞභාරපත(B.L) නිකුත් කරනු ලබයි. එය අපනයනකරුගේ භාණ්ඩ නියමිත ගමනාන්තය දක්වා ප්‍රවාහනය කරදීමට තමන් භාරගත් බවට නැව් නියෝජිත ආයතනය විසින් අපනයනකරු වෙත ලබාදෙන ලියවිල්ලක් වන අතර මෙය නිශ්කාෂන කටයුතු, ණයවර ලිපි හා ජාත්‍යන්තර වෙළදාමේදී ගෙවීම් ක්‍රම සඳහා අත්‍යවශ්‍යම හා ගනුදෙනුකළ හැකි (Negotiable Document) වැදගත් ලියවිල්ලකි.

මෙය පිටසන් කිරීම (Endorsement) මගින් භාණ්ඩවල අයිතිය වෙනත් පාර්ශවයකට පැවරීමට හැකියාව පවතියි. මෙහි අපනයනකරු, ආනයනකරු, භාණ්ඩ නැව්ගත කරන යාත්‍රාවේ නම සහ දිනය, නැව්ගත වරාය හා රට, ගමනාන්ත වරාය හා රට, භාණ්ඩ පිළිබඳ විස්තර, ප්‍රමාණය, සංකේත, බර, පරිමාව හා ගනුදෙනුවට අදාළ වෙනත් විශේෂිත කොන්දේසි ඇතුළත් වේ. මෙම ලියවිල්ල නැව් නියෝජිත ආයතනය විසින් අපනයනකරු වෙත නිකුත් කළ පසු අපනයනකරු විසින් අනෙකුත් ලියකියවිලි සමග බැංකුව වෙත හෝ තම ගැනුම්කරුවෙත යවනු ලබයි.

3.අපනයන අනුකූලතා සහතිකය (Export Compliance Certificate)

මෙම ලියවිල්ල අපනයනකරුගේ රටේ රාජ්‍ය ආයතනයක් විසින් එම භාණ්ඩ අපනයනය සඳහා අනුකූලතාවය ලබාගත් බවට ලබාදෙන සහතිකයකි. අනෙක් අතට යම් නිශ්චිත භාණ්ඩයක් නිශ්චිත ප්‍රමාණයකින් යම් ගමනාන්ත වරායක් දක්වා රැගෙනයාමට දෙනු ලබන අවසර පත්‍රයකි. ශ්‍රී ලංකාවේ සිදුවන අපනයන කටයුතු සඳහා අනුකූලතා සහතික ලබාගතයුතු භාණ්ඩ හා එම සහතිකය නිකුත් කිරීමට බලයලත් ආයතන පිළිබඳව නිදසුන් කිහිපයක් මෙසේ දැක්විය හැකිය.

•ඇඟලුම් – ආයෝජන මණ්ඩලයේ ලියාපදිංචි ආයතන සඳහා ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයෙන් ද, අනෙකුත් ආයතන විසින් කර්මාන්ත හා වානිජ කටයුතු අමාත්‍යංශයේ ඇඟලුම් අපනයන සේවා අංශයෙන් ද මෙම සහතිකය ලබාගත හැකිය.
•තේ – ශ්‍රී ලංකා තේ මණ්ඩලය
•මැණික්, දියමන්ති හා ආභරණ – ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය
•ආහාර හා බීර වර්ග – ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය ISO, HACCP, GMP සහතික, සුරාබදු දෙපාර්තමේන්තුව
•බෝතල් කල පානීය ජලය – සෞඛ්‍ය දෙපාර්තමේන්තුව
•කුළුබඩු – වානිජ දෙපාර්තමේන්තුව, වානිජ මණ්ඩලය
•කුරුඳු – ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය
•පොල්තෙල් හා පොල් ආශ්‍රිත නිෂ්පාදන – පොල් සංවර්ධන මණ්ඩලය
•දැව – වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව
•මත්ස්‍ය හා මත්ස්‍ය නිෂ්පාදන – ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව

4.ප්‍රභවස්ථාන සහතිකය (Certificate of Origin)

කිසියම් භාණ්ඩයක් අපනයනය කිරීමේදී එම භාණ්ඩය තම රටේ නිපදවූවක් බවට සහතික කරමින් ලබාදෙනු ලබන සහතිකය ප්‍රභවස්ථාන සහතිකයයි. මෙය නිපන් රටේ සහතිකය ලෙස ද හඳුන්වයි. මෙම සහතිකය ආනයනකරුගේ ඉල්ලීම මත අපනයනකරු විසින් තම රටේ වානිජ මණ්ඩලයෙන් හෝ කොන්සල් හෝ තානාපති කාර්යයාලයෙන් සහතික කොට ආනයනකරු වෙත ලබාදිය යුතු වේ.

මෙම සහතිකයෙහි අපනයනකරු, ආනයනකරු, භාණ්ඩ නැව්ගත කරනු ලබන වරාය, ගමනාන්ත වරාය, නිපන් රට, භාණ්ඩ පිළිබඳ විස්තර, ප්‍රමාණය හා බර ආදී විස්තර ඇතුළත් කොට එකී භාණ්ඩ එම සහතිකය නිකුත් කරනු ලබන රටේම නිපදවූවක් බවට අදාළ බලධාරියා විසින් සහතික කරනු ලබයි.

5.වෙනත් විශේෂිත සහතික

•විශ්ලේෂණ සහතිකය (Certificate of Analysis) – මෙම සහතිකය බීජ වර්ග, ධාන්‍ය වර්ග, සෞඛ්‍යමය ආහාර, පළතුරු,එළවලු හා ඖෂධ නිෂ්පාදන සඳහා නිකුත් කරනු ලබයි.
•අන්තරායකර භාණ්ඩ සහතිකය (Certificate of Dangerous Goods) – ගුවන් පරිවහනයේදී අන්තරායකර භාණ්ඩ සඳහා ජාත්‍යන්තර ගුවන් ප්‍රවාහන සම්මේලනය මගින් නිකුත් කරනු ලබන IATA සහතිකය අත්‍යවශ්‍ය වන අතර අපනයනකරු විසින් තමා අපනයනය කරන්නේ අන්තරායකර භාණ්ඩ බවට ප්‍රකාශ කළ යුතුය. නාවික පරිවහනයේදී එය අන්තරායකර භාණ්ඩ පිළිබඳ ජාත්‍යන්තර සමුද්‍ර රෙගුලාසි යටතට ගැනෙන අතර එවැනි භාණ්ඩ ඇසුරුම් කිරීමේදී එම පිළිගත් රෙගුලාසි වලට අනුව කටයුතු කලයුතුය. එමෙන්ම අන්තරායකර භාණ්ඩ කාණ්ඩගත කර හඳුනාගැනීම සඳහා සම්මත සංකේත නිසිපරිදි අලවා තැබිය යුතුය.
•ධූමකරන සහතිකය (Fumigation Certificate) – මෙම සහතිකය විශේෂයෙන් කෘෂිකාර්මික භාණ්ඩ හා භාවිතා කල ඇඳුම් පැළඳුම් අපනයනය කිරීමේදී ඒවා නිසි පරිදි නිරෝධායනය කළ බවට සහතික කළ යුතුය. මෙහිදි අපනයනකරු විසින් භාණ්ඩ ප්‍රවාහනයට දින කිහිපයකට පෙර ඒවා ධූමකරනයට ලක්කොට එම සහතිකය ලබාගත යුතුය.
•හලාල් සහතිකය (Halal Certificate) – මෙම සහතිකය මැදපෙරදිග රටවලට භාණ්ඩ අපනයනය කිරීමේදී ලබාගත යුතු සහතිකයකි. හලාල් සහතිකය අමු හෝ ශීත කළ මස්වර්ග හා සත්ත්ව නිෂ්පාදන ඉස්ලාම් නීතියට අනුකූලව සකස්කොට ඇති බවට දෙනු ලබන සහතිකයකි. එය අපනයනය කරනු ලබන රටෙහි කොන්සල් කාර්යාලය මගින් නිකුත් කරනු ලබයි.
•සෞඛ්‍ය ආරක්ෂණ සහතිකය ( Health Certificate) – සතුන් හා සත්ත්ව නිෂ්පාදන, සකස් කළ ආහාර මස්, මාළු, කිරි නිෂ්පාදන, බිත්තර වැනි දෑ අපනයනය කිරීමේදී මෙම සහතිකය අවශ්‍ය වේ. එය අදාළ රටේ වානිජ මණ්ඩලයෙන් හෝ කොන්සල් කාර්යාලය මගින් සහතික කළ යුතුය.
•පිරික්සුම් සහතිකය (Inspection Certificate) – බොහෝ රටවල රජයන් විසින් ජාත්‍යන්තර ආයතනයන් සමග ගිවිසුම් ඇතිකර ගනිමින් තම රටට ආනයනය කරනු ලබන භාණ්ඩවල නියම තත්ත්වය, ප්‍රමාණය හා මිල පිළිබදව සහතිකයක් ලබාගනියි. මෙයින් තමන් ඇණවුම් කරන භාණ්ඩවල නියම මිල හා ගුණාත්මකභාවය පිළිබඳ තහවුරු කරගැනීම සඳහා පිළිගත් ආයතනයකින් සහතික කරගැනීම බලාපොරොත්තු වේ.
•රක්ෂණ සහතිකය – භාණ්ඩ පරිවහනයේ දී භාණ්ඩ වලට සිදුවිය හැකි අලාභහානි සඳහා ඒවා රක්ෂණය කර තැබීම අත්‍යවශ්‍ය කාරණයකි. මෙහිදී භාණ්ඩවල පිරිවැය හා සිදුවිය හැකි අලාභහානි මෙන්ම ආපදා සැලකිල්ලට ගනිමින් එම භාණ්ඩ ගුවන්ගත කිරීමට හෝ නැව්ගත කිරීමට පෙර රක්ෂණ සහතිකය ලබාගත යුතුය.
•Phytosanitary Certificate – නැවුම් පළතුරු හා එළවලු, ධාන්‍ය, පිටි, සහල් හා පැල වර්ග අපනයනයේ දී භෝගගත රෝග හා ශාක වසංගත වලින් තොර බව සහතික කිරීම සඳහා මෙම සහතිකය නිකුත් කිරීම සිදුවේ. මෙය කෘෂිකර්ම දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරනු ලබන සහතිකයකි.
•විකිරණතා සහතිකය (Radiation Certificate) – සෞදි අරාබිය ඇතුළු බොහෝ රටවලට භාණ්ඩ අපනයනය කිරීමේදී එම භාණ්ඩ විකිරණශීලීත්වයෙන් තොර බව සහතික කරන්නේ මෙමගිනි.

#soursop
#graviola
#caporganicsl
#capceylon
#soursop #srilanka #ranjanhanchapola #organicfruit #madeinsrilanka #graviola #graviola_comfort #beverage #ලංකාවේජාතිකපානය #අනෝදා #ලංකාභිමානය #சோர்சோப் #قشطة شائكة
www.caporganic.com

රුවන් ජයවර්ධන
දිවයින ඉරිදා සංග්‍රහය