CategoriesCreative Lifestyle Tips & Tricks

“කටු අනෝදා රට පුරා වවන්න කට්ට කන තරුණයෙක්”

පලතුරක් ලෙස කටු අනෝදා සඳහා රට තුළ පවතින්නේ අඩු ඉල්ලූමක්ය. ආර්ථික බෝගයක් නොවන පලතුරක් ලෙස ගැනෙන කටු අනෝදා වගාව පිණිස බොහෝ දෙනෙක් යොමු නොවීමත් ඒ සඳහා රට තුළ වෙළෙඳපලක් නිර්මාණය වී නොතිබීමත් මෙම පලතුර ව්‍යාප්තිය පිණිස පවතින ප‍්‍රධාන බාධාවක් බවට පත්ව ඇත. කෙසේ වෙතත් බොහෝ දෙනකුගේ අවධානයට යොමු නොවූ රසයෙන් ගුණයෙන් අනූන මෙම පලතුරෙන් දිවි දිනූ තරුණ ව්‍යවසායකයකු මුණ ගැසීමේ අවස්ථාවක් පසුගිය දිනක උදාවිය. ඔහු නමින් රංජන් ටී. හංචාපොල.

මේ වන විට ඔහු විසින් දරන මතයක් බවට පත්ව ඇත්තේ කටු අනෝදා පානය මෙරට ජාතික පානය බවට පත් කළ යුතු බවත් එය අපහසුවෙන් තොරව කළ හැකි කාර්යයක් බවත්ය. දැනටමත් රට තුළ පල දරන කටු අනෝදා යොදා ගනිමින් රසයෙන් සහ ඉහළ ඖෂධීය ගුණයෙන් යුත් පානයන් කීපයක් වෙළෙඳපොලට හඳුන්වාදී ඇති රංචාගොඩ ඒ හරහා ජාත්‍යන්තරය පවා ජයගත් හපනෙකු බවට පත්ව ඇත.

ඔහු විසින් සිදුකරන එම හපන්කම පළමුව ඔහු වෙත පැමිණෙන්නේ අභියෝගයක් ලෙසින්ය. එයට නොබියව භාරගන්නා රංචාගොඩ කෙටි කලක් ගත වීමත් සමඟ එම අභියෝගය සාර්ථකව ජය ගත් අන්දම ආදර්ශවත්ය. එතැන් සිට මේ දක්වා ඔහු පැමිණි ගමන් මඟ පිළිබඳව පහත සඳහන් කර සිටින්නේ මෙවැනි පුද්ගලයන් වැඩි වැඩියෙන් රටට අවශ්‍ය වන බැවින්ය. දිරියෙන් දිවි දිනන්නට වෙර දරන පුද්ගලයන්ට හංචාපොල සාධකය ආදර්ශයක් කර ගැනීම පිණිසය. ඔහු හා සිදු කළ කතාබහේදී පළමුව සිය ව්‍යාපාරික ගමන් මග පිළිබඳව කෙටි හැඳින්වීමක් කළ හංචාපොල එහි ආරම්භය පිළිබඳ මතකය මෙනෙහි කරන්නට වූයේ මේ ආකාරයෙන්ය.

”මගේ විශ්වවිද්‍යාල අධ්‍යාපනයෙන් පස්සෙ ඉදිකිරීම් ක්ෂේත‍්‍රයේ ඉංජිනේරුවරයෙක් වශයෙන් මම කාලයක් රැකියාව කරනව. ඊටත් පසු කාලයක තවත් වසර කීපයක් මෙරට ක‍්‍රියාත්මක වූ එක්සත් ජාතීන්ගේ ව්‍යාපෘතියක සම්බන්ධීකාරක වරයෙක් වශයෙන් රාජකාරිය කරනව. ඔය අතරේ තමයි මට නෝර්වේජියානු රජය විසින් මෙරට ක‍්‍රියාත්මක කළ වගා ව්‍යාපෘතියකට දායකත්වය සපයන්න ලැබෙන්නේ. ඒ ව්‍යාපෘතිය හරහා සිදු කෙරුණේ ”කපු” වගා කරන එක. එතැනදි රටේ ඈත දුෂ්කර පළාත්වල ඇවිදින්න මට අවස්ථාව ලැබෙනව. ඒ ආකාරයට ඒ කටයුත්තේ නිරත වෙලා ඉන්න අතර තමයි මට වගාව පිළිබඳව සිතක් පහළ වෙන්නේ. ඒ සිතුවිල්ල බලවත්ව දැනෙන්න ගත්තට පස්සේ මම කරන්නේ උඩවලව ප‍්‍රදේශයෙන් ඉඩම් අක්කර පහක් මිලදී ගන්න එක. ඒ ඉඩමේ වගා කරන්නේ මොනවද කියන හැඟීමක් මට මුලින් තිබුණෙ නෑ. කොහොම නමුත් අක්කර දෙකහමාරක විතර අඹ වගා කරන්න මම මුලින්ම තීරණය කළා. ටික දවසක් යද්දි තේරුණා ඒක සාර්ථක වෙන්නේ නෑ කියල. ඔන්න ඔය අතරෙ තමයි කටු අනෝදා පිළිබඳව මගේ උනන්දුවක් ඇති වෙන්න ගන්නේ. අන්තර්ජාලය හරහා ඒ පිළිබඳව වැඩිදුරටත් සොයා බලද්දි තමයි මම දැක්කේ කටු අනෝදා සඳහා ලෝකයේ හොඳ ඉල්ලූමක් සහ සාර්ථක වෙළෙඳපොළක් තියෙනවා කියල. ඒ පාර තමයි ඉතුරු අක්කර දෙකක විතර කටු අනෝදා වගාව පටන් ගත්තේ. ඒ වෙද්දි මගේ අදහස් වෙලා තිබුණෙ කටු අනෝදා පිට රට යවන එක. ඒත්… ඒක හිතපු තරම් පහසු කටයුත්තක් බවට පත් වුණේ නෑ. මොකද හොඳින් පැහුණ කටු අනෝදා ගෙඩියක් දවස් දෙක යද්දි ඉදෙන්න ගන්නව. ඒ උත්සාහයත් අසාර්ථක වෙනව…..”

හංචාපොලගේ එම උත්සාහය අතරමග බිඳ වැටී යන්නේ පලතුරක් ලෙස කටු අනෝදා අපනයනය කිරීමට යෑමේ දී ඇති වූ දුෂ්කරතා රැසක් හේතුවෙන්ය. කෙසේ වෙතත් තම උත්සාහය අත්නොහරින මෙම දිරිමත් තරුණයා ඉන් අනතුරුව සිය අවධානය යොමු කරනු ලබන්නේ කටු අනෝදා ආශ‍්‍රිත ඖෂධීය පානයන් කිහිපයක් නිපදවීම පිණිසය. කෙටිකාලීන අත්හදා බැලීම් කීපයක් සහ පර්යේෂණ කිහිපයක ප‍්‍රතිඵලයක් ලෙස එවර ඔහුගේ උත්සාහය සාර්ථක ප‍්‍රතිඵල අත්පත් කරගත් එකක් බවට පත්ව ඇත. මේ වනවිට සාර්ථක ව්‍යාපාරිකයකු බවට පත්ව සිටින රංචාගොඩ ඒ සම්බන්ධයෙන් ප‍්‍රකාශ කර සිටින්නේ පහත සඳහන් කරුණුය.

”පලතුරක් ලෙස රට යවන්න බැරි වුණත් මම උත්සාහය අත්හැරියේ නැහැ. කටු අනෝදා සම්බන්ධව විවිධ සොයා බැලීම් කරන්න මම පෙළඹුණා. එතනදි තමයි මම දැක්කේ පානයක් ලෙස මේක හදන්න පුළුවන්නම් ඒ සඳහා ලෝකයෙන් හොඳ ඉල්ලූමක් තියෙනවා කියල. ඒ පාර ඒ සම්බන්ධව පරීක්ෂණ විශාල ප‍්‍රමාණයක් කරලා ඖෂධීය ගුණයෙන් ඉහළම කටු අනෝදා පානයක් හදා ගන්න මට පුළුවන් වුණා. ඊට පස්සේ මම මුහුණ දුන්න අභියෝගය තමයි මේක කල් තබා ගන්නේ කොහොමද කියන එක. මම මුලින්ම කරන්නේ ඒ සම්බන්ධව කටයුතු කරන ආයතනත් එක්ක මේ ගැන කතාබහ කරන්න එක. ඊට පස්සේ නැවත පර්යේෂණ කීපයක් සිද්ධ කළා. අපේ උත්සාහය සාර්ථකයි. ඒ පර්යේෂණ වලින් ඔප්පු වුණා මේ පානය වසරක් කල්තබා ගන්න පුළුවන් කියල. ඊට පස්සේ තමයි මම නිෂ්පාදන කටයුතු ආරම්භ කරන්නෙ…,” ඒ අනුව තම නිෂ්පාදන කටයුතු ආරම්භ කරන මෙම තරුණ ව්‍යවසායකයා කටු අනෝදා ආශ‍්‍රිත ඖෂධීය පානයන් කීපයක් වෙළෙඳපලට හඳුන්වා දෙන්නේය. ඊට අමතරව තේ වෙනුවට පානය කළ හැකි අමතර පානයක්ද කටු අනෝදා කොළ ආශ‍්‍රයෙන් නිපදවීමට සමත්වන රංචාගොඩ මේ වන විට තම නිෂ්පාදන පිණිස සාර්ථක වෙළෙඳ පොළක්ද සකසාගෙන අවසන්ය. මේ වන විට විදේශීය රටවල් කීපයක් වෙත සිය නිෂ්පාදන අලෙවි කරන ඔහු ඒ හරහා සැලකිය යුතු විදේශ විනිමයක් මෙරටට රැගෙන ඒමට සමත් වී ඇත. ඒ සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඔහු පවසා සිටින්නේ මෙරට තුළ තම නිෂ්පාදන හඳුන්වා දීමට යෑමේදී විවිධ ගැටලූවලට මුහුණ දීමට සිදු වූ බවත් විශේෂයෙන්ම යම් යම් රාජ්‍ය ආයතන වල පවතින උදාසීන බව හේතුවෙන් තම නිෂ්පාදන මෙරට තුළ ප‍්‍රචලිත කිරීමට තවමත් අවස්ථාවක් හිමි නොවූ බවත්ය.

‘‘ඇත්තටම ගත්තොත් මගේ නිෂ්පාදන පිණිස ඇමරිකාව, ඔස්ටේ‍්‍රලියාව, නෙදර්ලන්තය, හොංකොං වල හොඳ වෙළෙඳ පොළක් පවතිනවා. ඉදිරියේදී මැලේසියාව, සිංගප්පූරුව, ඩුබායි ජර්මන් ආදී රටවලට මගේ නිෂ්පාදන හඳුන්වා දෙන්න බලාපොරොත්තුවෙන් ඉන්නව. ලෝකයේ කටු අනෝදා වැවෙන වෙනත් රටවල් එක්ක ගත්තොත් අපේ රටේ කටු අනෝදා රසයෙන් මෙන්ම ගුණයෙන්ද ගොඩක් පොහොසත්. ඒ හින්දා තමයි ලෝකයේ රටවල් ගණනාවක් අපේ නිෂ්පාදන මිලට ගන්න කැමැත්තෙන් ඉන්නේ. නමුත් දැන් තියෙන ගැටලූව තමයි ඒ ඉල්ලූමට සරිලන නිෂ්පාදනයක් කරන්න තවම අපට පුළුවන්කමක් නැති වීම. මොකද බෝගයක් ලෙස කටු අනෝදා වගා කරන්න තවමත් ගොවි ජනතාව තුළ වැඩි කැමැත්තක් නැහැ. ඒ මතය වෙනස් කළ යුතුයි. මගේ මතය තමයි කටු අනෝදා අපේ ජාතික පානය බවට පත්කළ යුතුයි කියන එක. ඒක කරන්න පුළුවන්. මම දැනටමත් මගේ වගාවට අමතරව අක්කර 200 කට පමණ ආසන්න ප‍්‍රමාණයක් වගා කරන්න කටයුතු කරලා තියෙනවා. ඒ අනුව දැනටමත් අපි අම්පාරේ අක්කර 75 ඒ වගේම බදුල්ල රිදීමාලියද්ද කියන පළාතේ අක්කර 100ක් වගා කරලා තියෙනවා. ඒ දේ මට කරන්න පුළුවන් වුණේ ගොවි සංවිධාන හා ගොවියන් සමග එකතුවෙලා. මෙතනදී කෘෂිකර්ම දෙපාර්තමේන්තුවත් මට සහයෝගය දෙනව. ගොවියන්ට අවශ්‍ය උපදෙස් සහ අනෙකුත් පහසුකම් අපි විසින් ලබා දෙනවා. ඒ අයගේ ඵලදාව අප විසින් මිලදී ගන්නවා. මම විශ්වාස කරනවා ඒ ක‍්‍රමවේදය රට පුරා ව්‍යාප්ත කරන්න පුළුවන් නම් මේ කටයුත්ත වඩාත් සාර්ථකව අපට කරන්න පුළුවන් කියල. ව්‍යාපාරිකයෙක් විදියට මට විතරක් නෙමෙයි එහි ප‍්‍රතිඵලය ලැබෙන්නේ. මොකද අනෝදා අක්කරයක් වගා කරන කෙනෙකුට ලක්ෂ 8 ක වාර්ෂික ආදායමක් ලබන්න පුළුවන්. ඒ අයගෙ නිෂ්පාදන මිලදී ගන්න මම සූදානම්. කටු අනෝදා ගහේ ඵලදාව විතරක් නෙමෙයි දලූ ටික පවා මිලට ගන්න මම සූදානම්. මොකද කටු අනෝදා දලූ යොදාගෙන අපි විසින් නිෂ්පාදනය කරන පානය සඳහා දැනටමත් ඇමරිකාව ඇතුළේ විශාල ඉල්ලූමක් ඇති වෙමින් තිබෙනවා. තේ වෙනුවට කටු අනෝදා දල්ලෙන් හදන පානය පාවිච්චි කරන්න පුළුවන්. මේ කියන කාරණා ටික අරන් බලනකොට ඕනම කෙනෙකුට තේරෙනවා කටු අනෝදා කියන්නේ අපේ රටට සම්පතක්. ඒත් අපි ඒ සම්පතෙන් තවමත් හරියට වැඩක් අරගෙන නැහැ කියලා. මම මේ කියන්නේ වගකීමෙන්. ඉංජිනේරුවෙක් විදියට රාජකාරි කරපු මම ඒ රස්සාව පැත්තකින් තියලා මේ වගේ කටයුත්තකට අත ගැහුවෙ ව්‍යාපාරිකයෙක් විදිහට මට තනියම ගමනක් යන්න නෙවෙයි. මේ හරහා උපන් රටට පුරවැසියෙක් ලෙස මගෙන් ඉටු විය යුතු යුතුකම ඉටු කරන්න මම සූදානම්. රටේ ගොවි ජනතාවගෙන් මම ඉල්ලීමක් කරනවා. ඒ තමයි දැන්වත් කටු අනෝදා වගාව පිණිස යොමු වෙන්න කියලා. ඒ ආකාරයට අපට අත්වැල් බැඳගන්න පුළුවන් නම් මේ ව්‍යාපාරය හරහා ලක්ෂ සංඛ්‍යාත ගොවි ජනතාවට යහපත් හෙට දවසක් උදා කරන්න මම සූදානම් කියලත් මතක් කර සිටිනව…..”

පැතුම් සහගත මිනිසුන් නතර කළ නොහැක. කුමන අභියෝග මධ්‍යයේ වුවද ඔවුන් තම අරමුණු වෙත ළඟා වන්නේය. රන්ජන් රංචාගොඩ නම් තරුණ ව්‍යාපාරිකයා අයත් වන්නේ ඉහත සඳහන් පැතුම් සහගත මිනිස් සමූහයටය. මේ වන විට විදේශීය වෙළෙඳපොළ ජය ගැනීමට සමත්ව සිටින මෙම තරුණ ව්‍යාපාරිකයා නුදුරේදී මෙරට වෙළෙඳපළ වෙත ද තම නිෂ්පාදන හඳුන්වා දීමට දැනටමත් කටයුතු කරමින් සිටින අතර එය මෙතරම් ප‍්‍රමාදව ඇත්තේ රට තුළ ක‍්‍රියාත්මක අධික බදු අය කර ගැනීමේ ක‍්‍රමවේදයේ පවතින යම් යම් අඩුපාඩු හේතුවෙන්ය. දැනටමත් මෙරට පිහිටි සුපිරි වෙළෙඳසල් කීපයක ඔහුට අයත් නිෂ්පාදන අලෙවි වන අතර ඉදිරියේදී එය දීප ව්‍යාප්තව මිලදී ගැනීමේ ක‍්‍රමවේදයක් සැකසීම ඔහුගේ ඉදිරි අරමුණු බවට පත්ව ඇත.

#soursop #graviola #caporganicsl #capceylon  #soursop #srilanka #ranjanhanchapola #organicfruit #madeinsrilanka #graviola #graviola_comfort #beverage #ලංකාවේජාතිකපානය #අනෝදා #ලංකාභිමානය #சோர்சோப் #قشطة شائكة
www.caporganic.com

රුවන් ජයවර්ධන
දිවයින ඉරිදා සංග්‍රහය

Leave a Reply

Your email address will not be published.